(රෝෂන් තුෂාර)

අපරාධයකින් උත්පාදිත දේපලක් සේප්පුවක බහා  තබා ගත්තේ යැයි අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ  පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් බව කියන   සංජය විෂ්ණු රවින්ද්‍ර  ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (20) නියෝග කළේය.

සැකකරුට රුපියල් ලක්ෂ දහය බැගින් ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා  විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළේය. 

අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ පසුගිය 16 දින ලැබුණු පැමිණිල්ලක් අනුව අල්ලස් කොමසාරිස්වරයා නිකුත් කළ වරෙන්තුවකට අනුව සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමෙන් අනතුරුව අල්මාරියක තිබූ ආරක්ෂිත සේප්පුවක් අත්අඩංගුවට ගත් බවය.

රුපියල් 185000.00 ක් මුදලක්, රත්තරන් යැයි සිතිය හැකි පා සළඹ අටක් සහ ලක්ෂ අටක් පමණ වටිනා අත් ඔරලෝසුවක් එහි තිබූ බවද අල්ලස් කොමිසම පැවසීය. සැකකරු විමර්ශන අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ රුපියල් මිලියන 11ක් පමණ වටිනා කාර් රථයක් විකිණීමෙන් පසුව ලද රුපියල් ලක්ෂ පහළොවක් සේප්පුවේ දමා තිබූ බවය. 

ලක්ෂ තුනයි පන්දහස මව සහ පියාගේ බවත්, අත් ඔරලෝසුව සුව පැරණි පෙම්වතිය ලබා දුන්න එකක් බවත් පැවසීය.

ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙසද ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කරමින් විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළේය. 

විමර්ශන ප්‍රගතිය දෙසැම්බර් 18 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළේය.